වැඳීම ගැන..

මේ මගේ අත්දැකීම. මම ඉස්කෝලෙ යනකොට දෙමාපියන්ට වැඳලා ගියේ නෑ. “අපි යනවා..!” කිව්වා. ගියා. එච්චරයි.
අම්මටයි තාත්තටයි වැන්දෙ අවුරුද්ද දවසෙ දි විතරයි. ඒ අවුරුදු චාරිත්ර කරන වෙලාවෙ දී.
ඒ හැර නෑදෑයො ආවා කියල ඒ අයටවත් අපි ලවා වැන්දෙව්වේ නෑ.
1980 විතර දවසක් ටීචර් කලු ලෑල්ලෙ ගාථා දෙකක් ලියල අපි ලවා හඬ නගා ඒවා කියෙව්වා.
“දසමාසේ උරේ කත්වා…” ගාථා පටන් ගත්තේ එහෙමයි.
“මේ ගාථා සඳුදා එනකොට කටපාඩම් කරගෙන එන්න” ටීචර් කිව්වා.
සඳුදා උදේ රැස්වීමේ දී විදුහල්පති තුමා හැමෝම අමතලා කිව්වා “හෙට ඉඳලා ඉස්කෝලේ එනකොට අනිවාර්යයෙන්ම හැමෝම අම්මටයි තාත්තටයි වැඳලා එන්න ඕන. අමතක කරන්න එපා, ගාථා කියලයි වඳින්න ඕන… වැඳලා නො එන ළමයින් ගැන මම බලා ගන්නම්”.
පහුවදා ඉස්කෝලෙ යන්න කලින් මම අම්මටයි තාත්තටයි වඳින්න ගියා.
“මේ මොකද?”
“විදුහල්පති තුමා කිව්වේ.. වැඳලා එන්න කියලා..”
“හම්ම්!”
අපේ අම්මයි තාත්තයි උදේට වඳින වැඩේ ගැන ඒ තරම් උනන්දුවක් දැක්කුවේ නෑ. අපිත් උදේට වඳින වැඩේ අත්හැරලා දැම්මා.
දවසක් විදුහල්පති තුමා පංතියට ආවා.
“හා.. දෙමාපියන්ට වැඳලා ආ ළමයි අත උස්සන්න..”
සමහරෙක් එකපාරටම අත ඉස්සුවා. තව සමහරෙක් වටපිට බලලා හෙමිහෙමින් අත ඉස්සුවා. හැමෝම අත උස්සපු නිසා මමත් අත ඉස්සුවා.
********************
2017 අවුරුද්දෙ අපි යුද්ධයෙන් දුක් වින්ඳ ඉස්කෝල දෙකක් අතර සම්බන්ධය හැදුවා. එකක් තුනුක්කයි වල තියෙන දෙමළ මාධ්ය ඉස්කෝලයක්. අනෙක කැබිතිගොල්ලෑවේ තියෙන සිංහල මාධ්ය ඉස්කෝලයක්. අපි මාස 6ක් විතර මේ ඉස්කෝල දෙක එක්ක වෙන වෙනම වැඩ කරල ඉන් පස්සේ මේ දෙකේ ළමයින් මුණගැස්සුවා.
මේ ඉස්කෝල දෙකේම ගුරුවරු හා ළමයින් හරිම හොඳයි. ඒත් ඉස්කෝලවල සංස්කෘතියේ ලොකු වෙනසක් පෙනුණා.
දෙමළ මාධ්ය ඉස්කෝලෙට ගියාම හැමෝම හරිම ලෙන්ගතුයි. ළමයි අපේ අත් අල්ලගෙන අපව ඒ ඒ තැනට එක්ක යනවා. අපි වෙන් වෙලා එනකොට ගේට්ටුව පහුවෙනකම් අපේ අත් අල්ලගෙන ඒ අය අපේ වාහනේ එක්ක දුවගෙන එනවා. දවසක් විදුහල්පති කේතීෂ්වරන් මහත්තයාගේ අසූ වියේ හිටි පියා මාව තදින් වැළැඳ ගත්තා, එයාලගෙ ගෙදර දවල් කෑමට ගිය වෙලාවේ.
කවුරුවත් බය පක්සපාතව හැසිරුණේ නෑ. හරිම නිදහස්..!
සිංහල මාධ්ය ඉස්කෝලෙට එතැන ඉඳලා දුර කි,මී. 90 යි. අපි එහෙ යන හැම දාකම ඒ අය අපට සංග්රහ කරන්න ලොකු වෙහෙසක් ගත්තා, අපි එපා කියද්දිත්.
දෙමළ මාධ්ය විද්යාලේ ඉඳලා යන අපිට ලොකු වෙනසක් දැනුණා.. එහෙ හැමෝම ටිකක් බය පක්සපාතයි. ඒ නිසාම දුරස්තයි. ළමයි අනිවාර්යෙන්ම මට වඳිනවා. ඉන්පස්සේ මාත් එක්ක ආ හැමෝටම වඳිනවා. මාත් එක්ක ගිය අවුරුදු 18 විතර අයටත් වඳිනවා. එපා කිව්වත් වඳිනවා.. ආපහු වෙන්වෙලා එනකොටත් එහෙමයි. හැමෝටම වඳිනවා.
2017 දෙසැම්බරේ අපි පළමු වතාවට මේ ඉස්කෝල දෙකේ ළමයි මුණගැස්සුවා. අපි දවස් පහක් මේ අය එකට තිව්වා.. වැඩමුළුව පැවැත්වුණේ හොරණ වාසනා උත්සව ශාලාවේ. ළමයි දෙගොල්ලොම නතර කළේ බණ්ඩාරගම සර්වෝදය මධ්යස්ථානයේ. උදෙන්ම බස් දෙකකින් මේ අය බණ්ඩාරගම ඉඳල හොරණට එනවා, සිංදු කියමින්.. නටමින්.
පළමු වැනි දවසේ උදේ කැබිතිගොල්ලෑවේ ළමයි මාව දැක්ක ගමන් දුවල ඇවිත් මට වඳින්න පටන් ගත්තා. ඔක්කෝම කට්ටිය වෙන වෙනම වඳින්න පටන් ගත්තා. මේක පළමු වතාවට දැක්ක තුනුක්කායි ඉස්කෝලෙ ළමයි පුදුමයෙන් වගේ බලාගෙන හිටියා. මෙතෙක් කල් මගේ අත්වලින් අල්ලගෙන එහෙ මෙහෙ එක්ක ගියපු එක, මගේ ඇඟේ එල්ලුණු එක වැරැද්දක් කියල ඒ අය හිතන්න ඇති.
වැඩමුළුවේ දෙවෙනි දවසෙ උදේ ඒ ළමයිනුත් ඇවිදින් මට වඳින්න පටන් ගත්තා. මම දන්න හැම විදියකින්ම කිව්වා මට වඳින්න එපා කියලා. මට ඕන ඔයාලා මම ඉස්සරහ ඉස්සෙල්ල වගේම මනුස්සයෝ වෙනව දකින්න කියලා. ඒ විතරක් නෙවෙයි, සිංහල ළමයිනුත් ඔයාල වගේම මම ඉස්සරහ නිදහස්ව ඉන්නවා දකින්න කියලා. ඒත් වැඩක් වුණේ නෑ.
ඉතිරි දවස් ටිකේ උදේ ළමයි එනකොටත් හවස ඒ අය වෙන්වෙලා යනකොටත් මම ඒ අයව මග ඇරලා හිටියා.
*****************
කලකින් ඒ ළමයි බලන්න යන්න බැරි වුණා.. දැන් ගොඩක් දෙනෙක් කසාද බැඳලා ලු. නිවාඩුවක් ලැබුණාම යන්න ඕන බලන්න!
(වැඩමුළුවට අදාළ වීඩියෝව පහලින් දක්වලා තියෙනවා)
 

 
 
2022 අගෝස්තු 10 වන දින ගල්කන්දේ ධම්මානන්ද හිමි facebook හි තැබූ සටහනකි.

Leave a Reply

Your email address will not be published.